සිංහල

මහ කුරුලු පිය පැපිලියා / ශ්‍රී ලංකා මහකුරුල්ලා (Troides darsius)

ශ්‍රී ලංකා මහකුරුල්ලා ඉතාමත් ආකර්ෂණීය වර්ණ සංකලනයකින් යුක්තය. උගේ පෙර තටු (Forewings) වෙල්වට් වැනි තද කළු පැහැයක් ගන්නා අතර, පසුපස තටු (Hindwings) කැපී පෙනෙන ''රන්වන්-කහ පැහැයකින්’” සහ කළු පැහැති සලකුණුවලින් හැඩ වී ඇත. ඈතට පියාසර කරන විට කුඩා පක්ෂියෙකු (කුරුල්ලෙකු) මෙන් පෙනෙන නිසාම මොහුට “මහකුරුල්ලා” යන නම ලැබී තිබේ.

මොවුන් පොළොව මට්ටමට වඩා ඉතා ඉහළින්, ගස් මුදුන් මට්ටමේ (Canopy) වේගයෙන් සහ මනස්කාන්ත ලෙස පියාසර කරන සමනල විශේෂයකි.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ (විශේෂයෙන් සිංහරාජය, කන්නෙලිය වැනි වැසි වනාන්තරවල) සහ කඳුකර ප්‍රදේශවල බහුලව දැකිය හැකිය. එහෙත් සුදුසු දේශගුණයක් සහ ආහාර ශාක පවතින විට වියළි කලාපීය වනාන්තරවල මෙන්ම කොළඹ වැනි නාගරික තෙත් බිම් ආශ්‍රිතවත් කලාතුරකින් දැකගත හැකි වේ.

වැඩුණු සමනලුන් ආහාර ලෙස ලබාගන්නේ මල් පැණිය. විශේෂයෙන්ම වනාන්තරවල ඇති කන්වල (Ixora), බෝගන්විලා සහ පින්න වැනි මල්වලින් පැණි බීමට මොවුන් ප්‍රිය කරති.

ගැහැණු සමනලයා බිත්තර දමන්නේ “කිරි අඟුණ“ (Tylophora pauciflora) සහ "සප්සඳ"' (Aristolochia indica) වැනි වැල් වර්ගවල කොළ මත පමණි. බිත්තරයෙන් බිහිවන දළඹුවා මෙම ශාකවල පත්‍ර ආහාරයට ගනිමින් වර්ධනය වේ. මෙම වැල් වර්ගවල අඩංගු රසායනික ද්‍රව්‍ය නිසා දළඹුවා මෙන්ම පසුව බිහිවන සමනලයාද විෂ සහිත සතුන් බවට පත් වේ. එමඟින් කුරුල්ලන් වැනි සතුරන්ගෙන් උන්ට ස්වභාවික ආරක්ෂාවක් ලැබේ.

වර්තමානයේ වනාන්තර විනාශ වීම සහ නාගරීකරණය නිසා දළඹුවන් ආහාරයට ගන්නා කිරි අඟුණ වැනි දේශීය වැල් වර්ග වඳ වී යාම මෙම ජාතික සමනලයාගේ පැවැත්මට ඇති ප්‍රධානතම තර්ජනයයි. ඔබේ ගෙවත්තේ කිරි අඟුණ වැලක් වගා කිරීමෙන් මෙම සුන්දර ජාතික සමනලයා සුරැකීමට ඔබටත් දායක විය හැකිය.

Sri Lankan Birdwing