සිංහල

බුලත් හපයා (Barbus nigrofasciatus)

බුලත් හපයා ශ්‍රී ලංකාවට ආවේණික ඉතා මනරම් සිරුරක් හිම් නිවර්තන මත්ස්‍යයින් විශේෂයකි. ශ්‍රී ලංකාවේ වනාන්තර ගංගා ද්‍රෝණි වන නිල්වලා හා කැළණි ද්‍රෝණි වල හමු වන අතර සිංහරාජය අවට නොගැඹුරු නොඉඳුල් දොළ පහරවල් වලද දැකගත හැකිය. මොවුන් කළකට පෙර විසිතුරු මාළුවෙකු ලෙස අපනයනය කිරීම නිසා ගහනය අඩු වූ බව මූලාශ්‍ර වල පැවසේ.

තරුණ මාළුවා ට ශරීරයේ හරස් අතට වැටී ඇති කැපී පෙනෙන කළු පැහැති ඉරි වලින් යුත් කහ පැහැති අළු සිරුරක් ඇත. වැඩුණු පිරිමි මසුන් කැපී පෙනෙන රතු පැහැයක් සහ රිදී පැහැයකින් යුක්ත වන අතර උදරීය වරල ගැඹුරු කළු පැහැයකින්ද සෙසු වරල් අලංකාර රතු පැහැයකින්ද යුක්තය.ගැහැණු සතුන් ගේ ශරීරය රක්ත වර්ණ නොගන්නා අතර වරල් වල පාදස්ථ කොටස් වල පමණක් කළු පැහැයක් දක්නට ලැබේ.හොදින් බැලූ විට මොවුන්ගේ මුඛය වටා රතු පැහැ වර්ණය හදුනා ගත හැකිය එසේ මුඛය වටා රතු පැහැයක් ගැනීම නිසා මොවුන්ට බුලත් හපයා ලෙස නම් ලැබී ඇති බව සිතිය හැක (හමුවන ප්‍රදේශය සහ ජල ප්‍රභවය අනුව වර්ණයේ තියුණු බවේ යම් කිසි වෙනස්කම් දැකිය හැක) .මොවුන් උපරිම අගල් 2-3 අතර වර්ධනයක් පෙන්නුම්කරයි. වැලි හෝ බොරළු උපස්ථර සහිත නිහඩව ගලා යන සිසිල් මෙන්ම සෙවන සහිත වඩාත් නොගැඹුරු ජලය සහිත වනාන්තරීය ඇළ දොළ ස්වභාවික වාසස්ථාන වේ.සූත්‍රිකාමය ඇල්ගී හා ජලයේ වාසය කරන කුඩා කීටයන් ආහාරයට ප්‍රිය කරයි. ප්‍රජනන සමයේ මොවුන්ගේ වර්ණ රටා වඩාත් තියුණු ස්වභාවයක් ගනී.බිත්තර විසුරවාහරින මසුන් වර්ගයක් වන මොවුන් නොගැඹුරු ජලයේ බිත්තර 100-200 අතර ප්‍රමාණයක් වරකට හෙලනු ලබයි.දින 1- 2 ත් අතර කාලයකින් පැටවු බිහිවේ.රංචු වශයෙන් ජීවත් වීමට ප්‍රිය කරන ක්‍රියාකාරී පිහිනන්නෙකි.

වැලි ගොඩ දැමීම ,මැණික් ගැරීම ,අධික කෘමි නාශක භාවිතය සහ විසිතුරු මත්ස්‍යයෙකු ලෙස වාසස්ථාන වලින් ඉවත් කිරීම නිසා මොවුන්ගේ ගහණය සීග්‍රයෙන් අඩුවී ඇත.ඊට අමතරව වනාන්තර විනාශය හේතුවෙන් ගංගාධාර හිරු රශ්මියට නිරාවරණය වීම මොවුන්ගේ ගහනය අඩු වීමට හේතුවී ඇත.

Black Ruby Barb (Barbus nigrofasciatus)